PayPal ලංකාවේ අපිටත් ඕනෙ නම්....

මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් පටන් ගත්තේ හිතවත් බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ උත්සහයෙන් වෙනසක් කරන්න හැකි වුනොත් ඒකෙන් පොදුවේ මුලු රටේම ඉන්න සියළුම මිනිස්සුන්ට, විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන, මාර්ගගත ගණුදෙනු (Online Transactions) සිදු කරන සියළු දෙනාට බොහොමයක් ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම කිව්වොත් ජාතික කාර්‍යයක්. පේ පෑල් (PayPal) කියන්නේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව. ඒක පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුනත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හදුන්වන්න පුළුවන්. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුනත් ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit Or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි නිසා එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට වෙලා තියනවා. ප්‍රධාන ප්‍රශ්නය. ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යවන්න පුළුවන් වුනත් කිසිම අයෙකුගෙන් මුදල් ලබාගැනීම කරන්න බැහැ. මේ නිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලන ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් (ඒ කියන්නේ PayPal භාවිතයෙන්) සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වගේ අයගෙන් සේවයන් ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරනවා. (උදා: වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය, දත්ත ඇතුළත් කිරීම්) තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නව වුනත් PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී තියනවා. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය ඉතාම වේගයෙන් ප්‍රචලිත වන විදේශ විණිමය උපයන ක්‍රමයක් බව. මෙම සේවාවන් 'Business Process Outsourcing' (ව්‍යාපාරික සේවා පිටතට පැවරීම) යන නමින් හදුන්වනවා. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් තමා වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගෙන PayPal ගිණුම් තැනීම. ඒත් එහෙම කිරීමෙන් සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවදානම තියනවා. ගැටළුවට හේතුව. ඉහත දක්වපු විදිහට භාවිතය සීමා කරන්න හේතුව විමසල බලන්න අවශ්‍යයයි. ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාලීන කරන්න අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වෙලා තියනවා. විසදුම. ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසක් තියනවා. උදාහරණ. 1. eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම. 2. සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන්, දත්ත ඇතුලත් කරන්නන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම. 3. ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම. 4. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම. විසඳන මග. 1. PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc. ආයතනයේ උප ආයතනයකි. ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ යුතුය. 2. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි, * ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම. * ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම. මේ විසදුම් වෙනුවෙන් එකමුතුවක් තුළින් යමක් කරන්න කිහිප දෙනෙක් මේ වෙනකොටත් එකතු වෙලා තවත් අයව එකතු කරගනිමින් ඉන්නව කියන සුභවාදී පණිවිඩයත් අපිට දැනගන්න ලැබුනා. ඒ එය මේ වෙනුවෙන් මාර්ගගත ඉල්ලීමක් අත්සන් කරගනිමින් ඉන්නවා. පහත තියන සබැදුම හරහා මේ ඉල්ලිමට සහයෝගය දැක්වීමට විනාඩියක් වැනි කෙටි කාලයක් වැය කරන්න කියල බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලනවා. මාර්ගගත ඉල්ලීම ට අත්සන් කිරීම් (Online Petition) GO HERE ට්වීටර් (Twitter) ගිණුම GO HERE ෆෙස්බුක් (Facebook) ගිණුම GO HERE ප.ලි. මේ පිළිබද අපව දැනුවත් කළ සහ PayPal පහසුකම් අප රටට විවෘත කරගැනීමට වෙහෙස වී ක්‍රියා කරන, අප හිතවත් රාමාගේ අවඩියේ, රාමා ට සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන අනිත් සහෝදරයන්ට අපගේ විශේෂ ස්තුතිය. තවද, මේ පිළිබදව පුළුල්ව දැනුවත් කිරීමට විජෙට්ටුවක් සැදීමට ක්‍රියා කරගෙන යන බව දැන ගැනීමට ලැබුණු අතර, ඒ සදහා ද ඔබෙගේ කාරුණික සහයෝගය ඉදිරියේදී අපේක්ෂා කරමු.

0 comments:

Post a Comment